Tuesday, June 29, 2010

පාසැල් ගමන (II)

මෙය මීට පෙර මා විසින් ලියූ පාසැල් ගමන නම් සටහන හා සබැඳිය.

ඒ කාලයේ අප අතර තවත් අපූරු ක්‍රීඩාවක් විය. ඒ දෙපැත්තට බෙදී ගහ ගැනීමයි. එය තරහින් කරගත් දෙයක් නොවුනත් අතිශයින් තරඟකාරී විය. පංතියේ සිටි බටුම කොල්ලා මා වුවද එකෙක් හැර අනෙත් හැම එකාම පාහේ මට සැලෙන්ඩර්ය. ඔහු ඉහළ පංතියෙන් අසමත්ව අප පංතියට ආ එකෙක් විය. පිරිස දෙපිලකට බෙදෙද්දී පිරසක් මා සමගද අනෙක් උන් පෙර කී එකා සමඟද එක් වූහ. අනතුරුව අපේ එකෙකුට පහර දෙද්දී අපි පැන උන්ට පහර දුන්නෙමු. අනෙක් උන්ද අපට පහර දුන්හ. මතක් වෙද්දිත් හිනාය. කෙසේ නමුත් එක් අවථාවකදී අපේ එකෙක්ගේ පහරකින් අනෙකෙකුගේ තොල පැළිණි. අප සෙල්ලමට ගහ මරා ගත්තද බොහොම එකමුතු පිරිසක් වූ හෙයින් සෙල්ලම් කරද්දී වැටී තොල පැලුනු බව ගුරුවන්ට පැවසුවෙමු. තවත් වරෙක අපෙ අල්ලපු පංතියේ කොලුවකු ළිඳට වැටී මහ ජංජාලයක් විය. පූරුවේ පිනකට උගේ ජීවිතයට අනතුරක් නොවිණි.

අපේ නිවසේ සිට පාසලට තිබුනේ කිලෝමීටරයක පමණ දුරකි. එය දැන් අපට මහ දුරක් සේ නොපෙනුනත් ඒ කාලයේ එය අපට මහ දුරකි. කෙසේ නමුත් දිනපතා ඒ මග ගෙවා දමන්නේ දෙපයිනි. යාලුවන් සමඟ එද්දී ගමන් මහන්සියක් කොහෙත්ම නැත. එකල අද මෙන් නිතර දෙවේලේ පාරවල්වල වාහන ගමන් කරන යුගයක් වූයේ නැත. එහෙත් සමහර දාට අපූරු චාන්ස් එකක් අපට ලැබේ. උදේට දර පුරවාගෙන වෙළෙඳාමේ යන දර කරත්තය බොහෝ විට ආපහු යන්නේ අප පාසල හමාර වී ගෙදර යන විටය. වෙනෙත් කීපදෙනෙක් නැග නොසිටීනම් ඒ අවස්ථාව සලසා ගන්නට අප පසුබට වන්නේ නැත. සමහර දාට කරත්තයේ යන මනුස්සයා බර බරේ දමයි. එවිට ටික දුරක් පස්සෙන් ගමන් කොට හොරෙන්ම ගොඩ වීමය අප කරන්නේ. කෙසේ හෝ නැග ගත්තොත් ආයෙත් බස්ස්වන්නේනම් නැත. (අද වන විට දර ගෙදර ගොන් බානක් තියා එහි සලකුණුවත් නොමැත.)

නිවසේ සිට පාසලට යන මාර්ගයේ හරි අඩක් පමණ ගිය විට පාර දෙපෙත්තේම ඇලවල් දෙකක් පිහිටා තිබුණි. දකුණු පැත්තේ ඇල අනෙකට වඩා විශාලය. ඕවායේ සිටින ගප්පි අල්ලා බෝතල්වල දමාගෙන ගෙදර අරන් එන පුරුද්දක්ද තිබුණි. සමහර දාට සපත්තු ගලවා අතට ගෙන ඇලට බැස ඒ දිගේ ඇවිදගෙන ආවෙමු. වැසි දාටනම් සොරිම තමාය. පාර වතුරින් යට වෙයි. ඒ දිනවල අපට ගෙදර නැවතීමට දෙමාපියන්ගේ නිල අවසරය ලැබේ. පාසල් කාලයේදී වැසි වැටී පාර යට වුවහොත් සපත්තු අතට ගෙන තරණය කළෙමු. බැරිම වුවහොත් අතුරු මාර්ගවල පිහිටය.

යහලුවන් සමඟ එද්දී කළ තවත් දහදුරා වැඩක් මතක් විය. ඉස්සර පාරවල්වල කටු සහිත ඉති ඇති ගස් වර්ගයක් විය. එහි නමනම් දන්නේ නැත. ඒවා ඇඟේ ඇතිල්ලූ විට කටු ඇඟෙහි දැවටෙන්නේ අධික වේදනාවක්ද සම්ඟය. ඉතින් ඒ දහදුරා වැඩය කුමක්දැයි අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත.

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලද ප්‍රතිපලත් සමඟ පාසැල් ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වූවේය. ඒ පිලිබඳව ඉදිරියේදී ලිවීමට අදහස් කරමි.

මේ පසු විපරමකි. කළින් සඳහන් කළ ගස් වර්ගය දැන්නම් දකින්නට ඇත්තේම නැත. ඒ තියා බාලොලියා ගසක්, නිදිකුම්බා ගසක්වත් දකින්නට ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකිනි. කුඩාම කාලයේ පාසල් වත්තෙන් රන් බෝනික්කන් නමැති සතුන් අල්ලා විනෝද වුනෙමු. අද කාලයේ ළමුන්ට එවැනි අවස්ථා තිබේදැයි සැක සහිතය. වරද කාගේද?

Monday, June 28, 2010

පාසැල් ගමන

මෑතකදී කියවූ බ්ලොග් පෝස්ටුවක රචකයා පාසලේ පන්ති කාමරයේ අනිත් සිසුන් සමඟ කල් ගෙවූ සැටි ලියා තිබූ අතර එයට නොයෙකුත් මාදිලියේ කමෙන්ටු ( එහෙමත් නැතිනම් ප්‍රතිචාර ) පාඨකයන් විසින් යොමු කර තිබිණි. එය මතක් වූ මටද පාසල් කාලය ගැන ලියා තබන්නට සිතක් පහළ විණි.

අවුරුදු ගාණක මතකය ලියා ඉවර කරන්නට කොතරම් ලියන්නට වෙයිද? ආරභයක් වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලය ගැන කෙටි සටහනක් තැබීමට අදහස් කරමි. අදින් වසර විස්සකට පෙර ඇරඹූ ඒ ගමනට මුල් පියවර තැබුණේ ගමේ ඉස්කෝලෙනි. ඇත්ත වශයෙන්ම එය අපේ ගමේ නොව අල්ලපු ගමේ ඉස්කෝලයය. නමින් නැලිගම ශ්‍රී සංඝමිත්තා විද්‍යාලයයි.

එදා මුලින්ම පාසලට බාර දුන් දිනය තාමත් හොඳ හැටි මතකය. ඊට ටික කලකට කලින් තාත්තා මා පාපැදියේ තබාගෙන කඩවත නගරයට ගොස් සපත්තු කුට්ටමක් අරන් දුන් හැටි වගේම ඒ සපත්තු යුගලයත් මට මතකය. මුල් දිනවල අක්කා සහ අයියා සමඟ එකට පාසලට ගියත් කල් යත්ම (අයියා කෙනෙක් වෙන කාලයේ ) තනිව යාමට පුරුදු වී සිටියෙමි. කොහොමත් මම හතර වසරට පමණ පැමිණෙන විට ඒ දෙදෙනාම එම පාසලේ සිටියේ නැත. එම අවදිය ප්‍රීතිමත්ම කාලයයි.

පිරිමි ළමයි වන අපට පැවරී තිබුණේ සෑම උදෑසනකම මිදුල පවිත්‍ර කිරීමයි. 6.30 පමණ වන විට නිවසින් එලියට බහින මම ගොසින් ඉක් ඉක්මණට මිදුල අතු ගාමි. අනෙක් අය පැමිනෙන විටත් ඒ කාර්යය මා අතින් බොහෝ දුරට හමාරය. ඒ කාලයේ පාසල ආරම්භ කෙරුණේ 7.30 ටය. ඉතින් තව පැය බාගයක් අපට ඉතිරිය. එසේ කාලය ඉතුරු කරගන්නේ අනෙකකට නොව සෙල්ලම් කිරීමටය. නිවසින් එන විට කලිසම් සාක්කුවේ ඔබා ගත් ප්ලාස්ටික් බෝලය අපගේ ක්‍රීඩා උපකරණයයි. ක්‍රීඩාව එල්ලේය. බෝලයට පහර දෙනු ලබන්නේ අතිනි. හරිම විනෝදජනයකය. බට්ටා වගේ සිටියාට දුව පැන කරන සෙල්ලම්වලට මට තිබුනේ හොඳ හැකියාවකි.

පාසල ඇරී ගෙදර යන විටත් පාසලට එන විටත් මග තොටදී කළ කී දෑ ගැන ඊළඟ සටහනේ ලියා තැබීමට අදහස් කරමි.

අතුරු කතාවක්. ඒ දවස්වල ජංගි කොට ගසාගෙන එකට දුව පැන සිටි ගමේ ඉස්කෝලෙ කෙල්ලෙන්ගෙන් කොල්ලන්ගෙන් බොහොමයක් අද වන විට කසාද බැඳ අම්මලා තාත්තලාද වී හමාරය. මම තාමත් වේලි වේලී ඉමි.

Friday, June 25, 2010

පොසොන්

ඊයේ පොසොන් පොහෝ දිනය වූ බැවින් කුඩා කල පොසොන් ගෙවුනු හැටි ලියා තබන්නට සිත් විණි. වර්තමානයේ පොසොන් දිනය නිකන්ම ගෙදරට වී කාලය ගත කරන සාමාන්‍ය දිනයක් වුවත් එදා එහෙම නැත. වෙසක් දිනයද එසේමය. ඒ ගැන පසුව ලියා තබන්නට අදහස් කරමි. මේ අදින් වසර පහළොවකට පමණ ඉහත කාලයයි..

සෑම පොහෝ දිනකම සිල් සමාදන් වීම අනිවාර්ය සේවාවක් ලෙස නියම වී තිබූ හෙයින් පොහෝ දිනට කලින් දින වැඩ ආරම්භ කළෙමු. මුලින්ම කරන්නේ පත්තරවලින් සොයා ගන්නා රූප කපා කාඩ් බෝඩ් මත අලවා ඒවාට කෝටු ගසා සකස් කරගැනීමය. පත්තරවලින් සොයා ගත නොහැකි වුවහොත් අපිම ඇඳ ගත්තෙමු. නැතිනම් දන්නාඳුනන කෙනෙකු ලවා වඩාත් ලස්සනට ඇඳ ගත්තෙමු. අනතුරුව උදැල්ලත් කර තබාගෙන අක්කා සහ අයියා සමඟ ගොස් පාරෙන් හෝ අහල පහල ඉඩමකින් තණ පිඩලි කපාගෙන ආවෙමු. පෝර උරයක් මතින් කපා ගත් පිඩලි රැගෙන ආ හැටි අද මෙන් මතකය.

අනතුරුව තැනෙන්නේ කුඩා මඩුවකි. පසුව සරිලන කලු ගලක් සොයාගෙන ඒ මත මැටි ආලේප කෙරේ. ඊටත් උඩින් ගොම ආලේප වේ. අනතුරුව කපා ගත් පිඩලි බිම අතුරා ගත් විට වැඩේ සෑහෙන දුරකට හමාරය. මඩුව හතර වටින් ආවරණය කළ පසු එදා දිනයේ වැඩ එතනින් හමාරය.

පොසොන් දිනයේ සිල් පවාරණයෙන් පසු ගෙදර දුවගෙන එන්නේ වැඩේ සම්පූර්ණ කිරීමට ඇති නොඉවසිල්ලත් හිතේ දරාගෙනය. මුලින්ම කරන්නේ මැලවී ඇති පිඩලි මතට වතුර ඉස ඒවා ප්‍රාණවත් කරවීමය. අනතුරුව පිලියෙල කරගත් රූප කෝටු ආධාරක උපයෝගී කර නියමිත ස්ථානවල සිටුවීමය. තව තවත් හැඩ කිරීමට පාට කළ ජලය පිරවූ අලංකාර පොකුණක්ද සෑදේ. එයට මල් දමා තවත් අලංකාර කෙරේ. සමහර දාට ගල මතින් වතුර වැස්සෙන පරිදි දිය සීරාවක්ද නිර්මාණය වේ. බටයක් තුළින් ජලය යවා ක්‍රියාත්මක කළ යුතු එය ක්‍රියාත්මක වන්නේ ඒ අසලින් යම් කිසිවකු යන අවස්ථාවකදී පමණි. තාක්ෂණය ඉතාමත් සරලය. කවුරුන් හෝ යන වේලාවක් බලා පිටුපස ඇති බට කෙළවරට කෝප්පයකින් වතුර වත් කිරීම ඒ සරල තාක්ෂණයයි.

අද මෙන් එදා විදුලිය තිබුනේ නැත. පහන් එලියෙන් රැය පහන් කරගෙන ජීවත් වූ අපිට තිබූ අනිත් එකම උපක්‍රමය ඉටි පන්දම් දැල්වීමයි. ඉටි පන්දම් කිහිපයක් දල්වා තැබූ පසු අපගේ කාර්යය සම්පූර්ණයෙන් අවසානය. ඔව්, අනතුරුව අප දෑස් ඉදිරියේ මැවුනේ ඉතා මනරම් මිහින්තලාවකි.

මේ අතුරු කතාවකි. එදා අක්කා, අයියා සහ මම මොන තරම් එකමුතුද. මේ සෑම දෙයක්ම කෙරුණේ අප තිදෙනාගේම දායකත්වයෙනි, එකමුතුවෙනි. ඒත් අද? එදා ගැන මිසක අද ගැන කතා කිරීම මාගේ අරමුණ නොවන හෙයින් ඒ ගැන ලිවීමෙන් මග හැර සිටිමි.

අවතීර්ණය

ඕනෑම අයෙකුගේ ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර කාල පරිච්ඡේද ඇත්තේය. ඒ අතුරින් සුන්දර පරිච්ඡේද හාරා අවුස්සා ඒ මතකයන් යලි අවදි කරවන්නට කොයි කවුරුත් කැමතිය.

මාගේ මේ වෑයම ඉතාමත් සුන්දර නොවූත් එහෙත් කටුකද නොවූත් ඒ ගෙවුනු කාල පරිච්ඡේදයක මතක සටහන් ඉලෙක්ට්‍රොනික කටු ගෑමකට ලක් කිරීමටය. විඩාපත් වර්තමානයෙන් මොහොතකට හෝ මිදී ඒ අතීතයේ සැරිසරන්නට ලැබීම එක්තර ආකාරයක ආශ්වාදනීය අත්දැකීමක් වේවි.

ඔව්, ඒ අදින් දශකයකට ඔබ්බෙන් වු කාල පරිච්ඡේදයයි..