Friday, June 25, 2010

පොසොන්

ඊයේ පොසොන් පොහෝ දිනය වූ බැවින් කුඩා කල පොසොන් ගෙවුනු හැටි ලියා තබන්නට සිත් විණි. වර්තමානයේ පොසොන් දිනය නිකන්ම ගෙදරට වී කාලය ගත කරන සාමාන්‍ය දිනයක් වුවත් එදා එහෙම නැත. වෙසක් දිනයද එසේමය. ඒ ගැන පසුව ලියා තබන්නට අදහස් කරමි. මේ අදින් වසර පහළොවකට පමණ ඉහත කාලයයි..

සෑම පොහෝ දිනකම සිල් සමාදන් වීම අනිවාර්ය සේවාවක් ලෙස නියම වී තිබූ හෙයින් පොහෝ දිනට කලින් දින වැඩ ආරම්භ කළෙමු. මුලින්ම කරන්නේ පත්තරවලින් සොයා ගන්නා රූප කපා කාඩ් බෝඩ් මත අලවා ඒවාට කෝටු ගසා සකස් කරගැනීමය. පත්තරවලින් සොයා ගත නොහැකි වුවහොත් අපිම ඇඳ ගත්තෙමු. නැතිනම් දන්නාඳුනන කෙනෙකු ලවා වඩාත් ලස්සනට ඇඳ ගත්තෙමු. අනතුරුව උදැල්ලත් කර තබාගෙන අක්කා සහ අයියා සමඟ ගොස් පාරෙන් හෝ අහල පහල ඉඩමකින් තණ පිඩලි කපාගෙන ආවෙමු. පෝර උරයක් මතින් කපා ගත් පිඩලි රැගෙන ආ හැටි අද මෙන් මතකය.

අනතුරුව තැනෙන්නේ කුඩා මඩුවකි. පසුව සරිලන කලු ගලක් සොයාගෙන ඒ මත මැටි ආලේප කෙරේ. ඊටත් උඩින් ගොම ආලේප වේ. අනතුරුව කපා ගත් පිඩලි බිම අතුරා ගත් විට වැඩේ සෑහෙන දුරකට හමාරය. මඩුව හතර වටින් ආවරණය කළ පසු එදා දිනයේ වැඩ එතනින් හමාරය.

පොසොන් දිනයේ සිල් පවාරණයෙන් පසු ගෙදර දුවගෙන එන්නේ වැඩේ සම්පූර්ණ කිරීමට ඇති නොඉවසිල්ලත් හිතේ දරාගෙනය. මුලින්ම කරන්නේ මැලවී ඇති පිඩලි මතට වතුර ඉස ඒවා ප්‍රාණවත් කරවීමය. අනතුරුව පිලියෙල කරගත් රූප කෝටු ආධාරක උපයෝගී කර නියමිත ස්ථානවල සිටුවීමය. තව තවත් හැඩ කිරීමට පාට කළ ජලය පිරවූ අලංකාර පොකුණක්ද සෑදේ. එයට මල් දමා තවත් අලංකාර කෙරේ. සමහර දාට ගල මතින් වතුර වැස්සෙන පරිදි දිය සීරාවක්ද නිර්මාණය වේ. බටයක් තුළින් ජලය යවා ක්‍රියාත්මක කළ යුතු එය ක්‍රියාත්මක වන්නේ ඒ අසලින් යම් කිසිවකු යන අවස්ථාවකදී පමණි. තාක්ෂණය ඉතාමත් සරලය. කවුරුන් හෝ යන වේලාවක් බලා පිටුපස ඇති බට කෙළවරට කෝප්පයකින් වතුර වත් කිරීම ඒ සරල තාක්ෂණයයි.

අද මෙන් එදා විදුලිය තිබුනේ නැත. පහන් එලියෙන් රැය පහන් කරගෙන ජීවත් වූ අපිට තිබූ අනිත් එකම උපක්‍රමය ඉටි පන්දම් දැල්වීමයි. ඉටි පන්දම් කිහිපයක් දල්වා තැබූ පසු අපගේ කාර්යය සම්පූර්ණයෙන් අවසානය. ඔව්, අනතුරුව අප දෑස් ඉදිරියේ මැවුනේ ඉතා මනරම් මිහින්තලාවකි.

මේ අතුරු කතාවකි. එදා අක්කා, අයියා සහ මම මොන තරම් එකමුතුද. මේ සෑම දෙයක්ම කෙරුණේ අප තිදෙනාගේම දායකත්වයෙනි, එකමුතුවෙනි. ඒත් අද? එදා ගැන මිසක අද ගැන කතා කිරීම මාගේ අරමුණ නොවන හෙයින් ඒ ගැන ලිවීමෙන් මග හැර සිටිමි.

3 comments:

  1. සෑම පොහෝ දිනකම සිල් සමාදන් වීම අනිවාර්ය සේවාවක් ලෙස නියම වී තිබූ හෙයින්...

    මේකෙන් අදහස් කරන්නේ ඒ කාලෙ සිල් සමාදන් වීම නීතිගත කරලද? :P O_o

    ReplyDelete
  2. නැහැ නැහැ. ඒක ගෙදරින් ලැබිලා තිබුණු නියමයක්. ඒ කාලෙ එක නිකන් දඬුවමක් වගෙයි අපට. මොකද කියනවනම් හරිම අකමැත්තෙන්නෙ යන්නෙ. කොහොම වුනත් දැන් ඒ කාලෙ මතක් වෙද්දි ගොඩක් සතුටුයි. :)

    ReplyDelete
  3. අයියයි මායි මිහින්තලා හැදුව හැටි මතක් වුනා. එක පාරක් මිහින්තලාවට ඕනේ කරන රූප හොයාගන්න බැරිවුණා. අන්තිමට තිබුණේ මිහින්තලා ගල විතරයි. ඒක දැක්ක කට්ටිය කෝ මිහිඳු හාමුදුරුවෝයි කට්ටියයි කියලා අහපුවාම අයියයි මායි කිව්වේ එයාලා තාම අහසින් වැඩියේ නැහැ කියලා :D

    ReplyDelete